අපගෙ දැක්ම

ඔබ  උදෙසා විශිෂ්ඨතම රාජ්‍ය සේවයක්

අපගේ මෙහෙවර

රාජ්‍යය ප්‍රතිපත්තිවලට අනුකුලව   මානව හිතවාදී පරිපාලන ව්‍යුහයක් තුළින්  සමස්ථ  ආයතන සම්බන්ධීකරණය කර භෞතික , මූලය හා මානව සම්පත් නිවැරදිව මෙහෙයවමින් සමාජ සුභසාධනය තහවුරු  කොට ප්‍රාදේශිය සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම අපගේ මෙහෙවරයි.

 අරමුණු

 • රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව භෞතික සම්පත්, මුල්‍ය සම්පත්, මානව සම්පත් කළමනාකරණය කර, ප්‍රදේශයේ  ජන දිවිය නංවාලීම සදහා සංවර්ධන  ව්‍යාපෘති   ක්‍රියාත්මක කිරීම.
• සමාජ සුභසාධන සහ සමාජ සංවර්ධන කටයුතු කරමින් සක්‍රීය පෙර ගමන්කරුවකු වීම.
• ර‍ජයේ ඉඩම් කළමනාකරණය කිරිම තුලින් ආහාර නිෂ්පාදනය සහ ජනතාවගේ නිවාස අවශ්‍යතාවයන් සපුරාලීම.
• කොට්ඨාසයේ සාමය සහ සංහිදියාව උදෙසා සිවිල් පරිපාලනය තව දුරටත් ශක්තිමත් කිරිම 
• තොරතුරු තාක්ෂණයේ කටයුතු විධිමත් කිරීම මගින් ආයතනයේ සහ කොට්ඨාසයේ සේවා කටයුතු කාර්යක්ෂම කිරීම.
• සාමාන්‍ය පරිපාලනය කාර්යක්ෂමව හා ඵලදායීව මෙහෙයවීම.
• මූල්‍ය කළමණාකරණය කාර්යක්ෂමව හා ඵලදායීව මෙහෙයවීම.
• සැලසුම්කරණය හා ආර්ථික සංවර්ධන කටයුතු කාර්යක්ෂමව හා ඵලදායීව මෙහෙයවීම.
 

භූගෝලීය හා පරිපාලන පිහිටීම

වයඹ පළාතේ ඓතිහාසික රාජධානියක් වූ තේජවන්ත හස්තියෙකුගේ හැඩයෙන් යුත් මහා ගල් තලාවක් අසල පිහිටි රම්‍ය වූ භූමි ප්‍රදේශය ඇතගල්පුරය නම් වේ. එකී නගරයට ආසන්නව පිහිටි ප්‍රාදේශීය පරිපාලන ඒකකය වන්නේ මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ දකුණු භාගයේ ගිනිකොණ දිග අර්ධයේ පිහිටි මෙම ප්‍රාදේශීය පරිපාලන ඒකකය උතුරින් කුරුණෑගල හා ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් බටහිරින් පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් මායිම්ව පිහිටා ඇත.
මුල් කාලීනව කුරුණෑගල මැතිවරණ කොට්ඨාශයට අයත්ව තිබී පසුව මාවතගම මැතිවරණ කොට්ඨාශයට අයත් මෙම මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මහගල්බඩ මෙගොඩ දකුණු කෝරලය හා තිරගන් දහය නැගෙනහිර යන කෝරල දෙකින් සමන්විත වන අතර එය විශාලත්වයෙන් වර්ග සැතපුම් 47.05 ක් වන අතර ග්‍රාම නිලධාරි වසම් 45 කින් යුක්ත වී ඇත.
මෙහි වයඹ පළාතේ උසම කදු වළල්ල වන හදුරුක්කන්ද ප්‍රදේශය ද කිසිදා නොසිදෙන දිය උල්පතක් වන තැම්පාන ජලාශය ද පිහිටා ඇති අතර, එය මල්ලවපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ප්‍රෞඩත්වය තව තවත් වර්ධනය කොට ඇත.

ඓතිහාසික පසුබිම

එක් කලෙක මී බැදි ඇල්ල නම් වූ සොදුරු බර ගම් තුලානක් විය.එකී සොදුරු බර සොබා අසිරිය මනා ජීවන අරගලයක නිමග්න ජාතියකට තම දිවියේ සරතැස නිවන ගිමන් හල විය.  මී බැදි ඇල්ලේ පැණියෙන් පිරුණු මී වද වලට මල් පැණි සපයන ස්වභාවික වන අරණ වූයේ මෙම මල්ලවපිටිය නම් වූ වත්මන් ප්‍රදේශය වූවාට සැක නැත.අනාදිමත් ඉතිහාසයක් පුරාවට බොහෝ රජ දරුවන්ට සිප්හල වී ඇත්තේ මෙකී ස්වභාවික වන පෙදෙස් බව ලාංකීය රාජාවලිය පරීක්ෂා කරන්නෙකුට සුලභ කරුණකි.මුගලන් හා කාශ්‍යප රජුගේ සේනා සංවිධානයට මෙම වන අරණ කදිම තෝතැන්නක් විය.නමුත් වරක් මෙම දෙපාර්ශවය අතර යුධමය තත්වයක් ඇති විය. එය ආයුධ රහිත ද්වන්ධ සටනක් වූ අතර මල්ලව පොර මෙහි ප්‍රධාන අංගයක් විය.එසේ මල්ලව පොරයට කදිම පිටියක් වූ මෙම ප්‍රදේශය කාලයාගේ ඇවෑමෙන් මල්ලව පොර පිටිය ලෙසටත් මල්ලවපිටිය ලෙසටත් වෙනස් වු බව ජනප්‍රවාදය අනුව හෙළිවන්නකි.

පුරා විද්‍යාත්මක උරුමය

අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගින්නා සේම තම පෞරාණික ප්‍රෞඩත්වය මොහොතකට හෝ අමතක කරන්නා ද ලොව නොපවතින බව අපි රතු ඉන්දියානු නායක සියටැල්ගේ ප්‍රකාශයෙන් උගන්නෙමු.මල්ලවපිටිය නම් වූ අප පරිපාලන ඒකකයද එවන් වූ ප්‍රෞඩ අතීත උරුමයන්ගෙන් සැදුම් ලද්දකි.  එය හෙළි වන්නේ එහි වූ ශ්‍රී විභූතිය විග්‍රහ කොට බලන විටය.  යම් පුද්ගලයෙකු මෙම සුරම්‍ය වූ භූමි භාගයේ හෝ අප ප්‍රාදේශීය පරිපාලන ඒකකයේ පුරා විද්‍යාත්මක උරුමය සොයා බලයි නම් ඔහුට එහි වූ අපූර්ව ප්‍රෞඩත්වය සදහා කදිම පුරා විද්‍යාත්මක සාධක සොයා ගත හැකිව ඇත.  එවන් අයෙකුට පෙර ගමන්කරුවකු වන අපි මෙම සාක්ෂි හෙළි කරන්නේ සංවර්ධනයේ අරුම පුදුම ක්‍රියාවලිය අතරේ පවා තවමත් මෙම අතීත උරුමය විරාජමානව පවතින බැවිනි.

ස්වභාව සෞන්දර්යය

ඝර්ම කලාපීය රටක් වන අප ලංකා ද්වීපය මෝසම් වැසි දෙකකින් හා සංවහන වර්ෂා දෙකකින් වසර පුරාවට වර්ෂණ ක්‍රියාවලියට හසු වන ලොව ඇති රටවල් අතලොස්ස අතරින් එකකි.  එසේම තෙත් , වියළි හා අර්ධ ශුෂ්ක ලෙස දේශගුණ කලාප 3ක් සැදුම් ලත් සොදුරු දිවයිනකි.  ලංකාවේ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා හෝ කොළඔ සිට සංගමන්කන්ද තුඩුව දක්වා හෝ ගමන් කරන්නෙකුට මෙම විෂම දේශගුණ තත්වයන් තුනකට වෙන් වෙන් ලෙස මූණ දීමට සිදුවේ.

එසේම සුවිශේෂි දේශගුණ තත්වයකට උරුමකම් කියන මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තවත් එක් තව රාජ්‍යයක් සේ විවිධ දේශගුණ තත්වයන්ගෙන් යුක්ත මෙම එහි වසම් 45 තුළ සැරිසරන්නෙකුට අවබෝධ කොට ගත හැකිය.වියළි ‍,තෙත් හා ශුෂ්ක දේශගුණ ගතිකත්වය මෙම බල ප්‍රදේශය පුරා ව්‍යාප්තව ඇත්තේ රමණීය වූත් සොදුරු බර දේශගුණ රටාවක් ද මවා පාමිනි.

     ග්‍රාම නිළධාරි වසම් අනුව එම සුවිශේෂි දේශගුණ තත්වය විග්‍රහ කොට බැලුවහොත් වසම් අංක 726 හැගව,724 පිල්ලව වත්ත,723 රණවන, 730 උඩගම, යන වසම් ශුෂ්ක දේශගුණ ස්වභාවයක් පෙන්වන අතර 728 මැද්දේගම නැගෙනහිර ,729 මැද්දේගම බටහිර යන වසම් වියළි දේශගුණයටත් හුරුව ඇත.නමුත් අන් ප්‍රදේශය ගෙන බැලු විට එය සදාහරිත ශාකයන්ගෙන් සැදුම්ලත් තෙත් නිවර්ථන දේශගුණ ලක්ෂණ පෙන්වනවා දැකිය හැකිය.ඒ අතර සුවිශේෂි වූ සොබා අසිරියක් ගෙන දෙන බොහෝ ස්ථාන හා කුඩා හා විශාල වන ලැහැබ් වලින් මෙම කලාපය ආඩ්‍ය බව යථෝක්ත උධෘත තුළින් වටහාගත හැකිව ඇත.

හදුරුක් කන්ද (කුඩා හෝට්න් තැන්න)

භූගෝලීය හා පරිපාලන සිතියම යටතේ විග්‍රහ කරන ලද සුවිශේෂි මෙම කදු පද්ධතිය වයඔ පළාත සතු සුවිශේෂිම සෞභාග්‍ය  අසිරිය බෙදන ස්ථානය ලෙස නම් කළ හැකිය.ලාංකීය ජාතිය සතු මාහානර්ඝ උරුමයක් වූ මධ්‍යම කදුකරය සතු දේශගුණය මෙම කලාපය සතුය.වයඔ පළාතේ උසින් වැඩිම මෙම කදු පද්ධතියේ උස මුහුදු මට්ටමේ සිට මීටර් 2500  කි.ආවේණික ශාක හා සත්ව ඛාණ්ඩ විශාල ප්‍රමාණයකට ජන්ම ලාභය සලසන මෙම කදු වළල්ල තුළ ඉර රාජ, සද රාජ, විෂ්ණු රාජ, රන් සදුන්, බිං කොහොඔ වැනි අති දුර්ලභ ශාක සදහා අදටත් අවශ්‍ය දේශගුණ ආරක්ෂණය සපයන බව එහි පිවිසෙන්නෙකුට අවබෝධ කොට ගත හැකිය.එසේම දේශීය ඖෂධ ගුණයෙන් පිරිපුන් ජටා මකුට හා ජටා මාංශ නම් වූ බිම් මල සදහා ද වර්තමානයේ ද තිඹිරිගෙය වී ඇත.

මී මින්නා, වැලි මුවා, හදුන් මුවා සහ හම්බාවා වැනි සතුනට කදිම ජිවන තෝතැන්නක් වූ මෙම සොදුරු වන අරණ ස්වභාවික උල්පත් වලින් සැදුම්ලත් සදාහරිත නිවර්තන වනයක් වන අතර එහි වූ සුවිශේෂී දේශගුණ තත්වය එයට කුඩා හෝටන් තැන්න ලෙස ලෙස අන්වර්ථ නාමයෙන් පිදුම් ලැබීමට පවා භාග්‍ය ලබා ඇත.

තැම්පාන ජලාශය

 වළගම්බා රජ දවස පටන් පැවත එන්නැයි සැළකෙන මෙම නිර්මල දිය උල්පත එදා පටන් අද දක්වාම විශාල ජන හා සත්ව පිරිසකගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලන ස්වභාවික දිය උල්පතකි.එහි වූ සොදුරු බව කෙතරම්ද යන්න සොයා බලන්නෙකුට නිතතින්ම සිහි වන්නේ අප ජාතක කතා පොත් වහන්සේ තුළ හමු වන මානස විලය.සදාහරිත ශාක වලින් වට වූ මෙම අලංකාර ජලාශය කිසිදා නොසිදෙන්නේ යැයි ජන ප්‍රවාදය තුළ ගැඹුරු විශ්වාසයක් ඇතුවා සේම වත්මන් හස්තිශෛල පුර (කුරුණෑගල) නගරයේ පානීය ජල අවශ්‍යතාව සපුරන්නේ ද මෙම සිහිලසින් පිරුණු ජලාශය වීමම එහි වටිනාකමට කදිම නිදසුනකි.

බඩගමුව රක්ෂිතය

සම්ප්‍රදායික අවධියක සිට ඉහල පරිභෝජන අවධියක් දක්වා විකාශනය වූ ජනයා තම ස්වභාවික සම්පත් සියල්ල ඉතා දිගු වේගයකින් පරිභෝජනය කරන්නට වූ කල එය ඔවුන්ගේ විනාශය ලෙස වරෙක හදුනාගෙන ඇත.  නමුත් ලාංකීය ජනයා වන අප සොබා දහමට කල ඒකාත්මීය බන්ධනය නිසාම වන රෝපණය කිරීම යුතුකමක් සේ සළකා ඇත.එහි ප්‍රතිඵලයක් ලෙස ඇති කළ රක්ෂිතයකි බඩගමුව.එය අක්කර 540 ක්  පුරා ව්‍යාප්තව ඇත.  එහි තෙත් කලාපීය වනාන්තරයක ඇති සියලු ස්ථරයන්ගෙන් සැදුම්ලත් බව බලන්නෙකුට වටහා ගත හැකිය.

ආයතනයේ විකාශනය

සුවිශාල මන්දිරයක් වුවද තැනිය යුත්තේ ශක්තිමත් පදනමක් මත බව අප දන්නා කාරණයකි.  එවැනිම වූ සවිමත් පදනමක් මත ගොඩ නැගි සුවිශාල මන්දිරයක්ව විරාජමාන වන මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කාලයත් සමග අහස් කුස පුරා අතු පතර පැතිරුණු මනා වනස්පතියෙක්ව වත්මනේ පැවතුනද එහි රෝපණ අවස්ථාව කුඩා දෙපෙති පැළෑටියක් බව කිව යුතු නැත.  එහෙයින් ඒ පිළිබද වූ යටගියාව මෙසේ විග්‍රහ කරමු.

වර්ෂ 1990 මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපන් වර්ෂය විය.  මැයි මය 07 වන දින හේවාපොල කණිටු විදුහල අසළ කුඩා කාර්යාලයක් ව ඇර‍ඹෙන මෙය 1991 අගෝස්තු මස 12 වන දින නව ගොඩනැගිල්ලට පිවිසියේය.  එහි ප්‍රථම පෙර ගමන්කරුවා වූයේ ආර්.එම්.බී.මොන්නෑකුලම මහතායි.  එතුමාගේ දූරදර්ශී පරිපාලන කාලය අවසන් වන්නේ සොදුරු බර වූ ආඥාදායකයන්ට  තම වගකීම පවරා දෙමිනි.  කාලයාගේ ඇවෑමෙන් මෙහි  වත්මන්  ප්‍රාදේශීය ලේකම් වනුයේ එන්.ඒ.ඒ.එස්. ප්‍රියංකර මහතායි.

නම සිට දක්වා
ඩබ්.ජයවර්ධන මයා 1997 1998
ආර්.එම්.බී.ආර්.මොන්නෑකුලම මයා 1998 2004
නිමල් කොටවලගෙදර මයා 2005 2011
ඊ.එම්.පී.ඒකනායක මයා 2012 2016
ආර්.එම්.පී.රත්නායක මයා 2016 2019
එන්.ඒ.ඒ.එස්. ප්‍රියංකර මයා 2019 2023
ඩබ්ලිව්.පී.සී.එන්. පතිරණ මිය 2023 මේ දක්වා

උපාය මාර්ගික සැලැස්ම

පුවත් හා සිදුවීම්

13
නොවැ2025
තැම්පාන ගැමි පිල

තැම්පාන ගැමි පිල

තැම්පාන ගැමි පිල මල්ලවපිටිය ප්‍රාෙද්හීය ලේකම් කාර්යාලයේ...

03
පෙබ2025

2026 අගෝස්තු - කාර්යාල රැස්වීම් දින දර්ශනය

2026 අගෝස්තු- කාර්යාල රැස්වීම් දින දර්ශනය අනු අංකය...

පුවත් සහ සිදුවීම්

13
නොවැ2025
තැම්පාන ගැමි පිල

තැම්පාන ගැමි පිල

තැම්පාන ගැමි පිල මල්ලවපිටිය ප්‍රාෙද්හීය ලේකම් කාර්යාලයේ...

03
පෙබ2025

2026 අගෝස්තු - කාර්යාල රැස්වීම් දින දර්ශනය

2026 අගෝස්තු- කාර්යාල රැස්වීම් දින දර්ශනය අනු අංකය...

03
සැප්2024
CITIZEN MIRROR තරඟාවලිය

CITIZEN MIRROR තරඟාවලිය

2026 වර්ෂයේ ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය   පැවැත්වූ...

03
සැප්2024
මහජන කවුළු සේවා සඳහා විවෘත කිරීම

මහජන කවුළු සේවා සඳහා විවෘත කිරීම

මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවාවන් තවදුරටත් පුළුල්...

« »
Scroll To Top